• Increase font size
  • Default font size
  • Decrease font size

2025-07-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
2026 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම

- "නිෂ්පාදන ආර්ථිකයක් සහ සෑම දෙනාම ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීම" යන තේමාව පදනම් කර ගනිමින් 2026-2030 රාජ්‍ය මූල්‍ය රාමුව හා රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය සහ ජාතික ප්‍රතිපත්ති රාමුව වන " පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන ප්‍රතිපත්ති රාමුවට අනුගතව 2026 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීමට අපේක්ෂිතය. 2026 අයවැය ඇස්තමේන්තු සකස් කිරීමේ දී ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි ඇතුළත් ප්‍රමුඛතාවන් සහ ග්‍රාමීය සංවර්ධන මූලාරම්භයන් කෙරෙහි මූලිකත්වයක් ලබා දීමට අපේක්ෂා කෙරේ. 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ විධිවිධානයන්ට සහ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව  අමාත්‍යාංශ විෂය පථයන් යටතේ ඒ ඒ අමාත්‍යාංශ විසින් හඳුනාගනු ලබන ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීම සඳහා සියලුම අමාත්‍යාංශ වෙතින් යෝජනා ලබා ගැනීමට නියමිතය. ඒ අනුව, 2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත 2025 ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දෙවන වර කියවීම (අයවැය කථාව) 2025 නොවැම්බර් මාසයේදී සිදු කිරීමටත්, තෙවන වර කියවීමේ අයවැය විවාදය 2025 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී පැවැත්වීමටත් හැකි වන අයුරින් 2026 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.