• Increase font size
  • Default font size
  • Decrease font size

2025-04-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම
- නෞකාවන්හි හා කොළඹ වරාය නගරයේ අක්වෙරළ සූදු ක්‍රීඩා ක්‍රියාකාරකම් සහ මාර්ගගත සූදු ක්‍රීඩා ක්‍රියාකාරකම් ඇතුළුව ශ්‍රී ලංකාවේ සූදු ක්‍රීඩා කර්මාන්ත මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් පුළුල් හා පූර්ණ විෂය පථයක් සහිත ස්වාධීන තනි නියාමකවරයෙකු වශයෙන් ක්‍රියා කිරීම සඳහා සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට යෝජනා වී ඇත. ඒ සඳහා වන පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2025‑02‑24 දින අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දී ඇති අනුමැතිය පරිදි සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.