• Increase font size
  • Default font size
  • Decrease font size

2025-03-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
ආසියාන් ආංශික සංවාද හවුල්කාරිත්වය (SDP)
- අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) අග්නිදිග ආසියාවේ රටවල් 10ක එකතුවෙන් සැදුම්ලත් දේශපාලන හා ආර්ථික සංගමයකි. එයට ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන් කිහිපයක් ඇතුළත් වන අතර එම රටවල් දළ වශයෙන් ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.5%කට පමණ දායක වේ. ශ්‍රී ලංකාව මේ වන විට සියලුම ආසියාන් සාමාජික රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන නමුත් හවුල්කාරී ආර්ථික ප්‍රගතිය සදහා ආසියාන් සමඟ ශක්තිමත් සම්බන්ධතාවක් අත්‍යවශ්‍ය වන බව ද පෙනී ගොස් ඇත. අග්නිදිග ආසියාවට අයත් නොවන රාජ්‍යයන්ට ආසියාන් සාමාජිකත්වය ලබාගැනීමට නොහැකි වුවද, ආසියාන්හි අරමුණු සඳහා දායක වීමට ඇති හැකියාව මත පදනම්ව බාහිර රාජ්‍යයකට "ආංශික සංවාද හවුල්කරුවෙකු" ගේ තත්ත්වය පිරිනැමීමට ආසියාන් සංගමයට හැකියාව ‍පවතී. ශ්‍රී ලංකාව 2019 වර්ෂයේදී ආංශික සංවාද හවුල්කාරිත්වය සඳහා අභිප්‍රාය ලිපියක් හා ආසියාන්හි අරමුණ ඉටු කර ගැනීම සඳහා යෝජනාවක් ආසියාන් ලේකම් කාර්යාලයට ඉදිරිපත් කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගෙන නොමැත. එබැවින්, බාහිර පාර්ශවයකට "ආසියාන්හි ආංශික සංවාද හවුල්කරුවෙකුගේ" ‍ තත්ත්වය ලබා ගැනීම සඳහා ආසියාන් විසින් දක්වා ඇති ක්‍රියාවලිය අනුගමනය කරමින් 2019 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද අභිප්‍රාය ලිපියට අදාළව පැහැදිලි කාලරාමු සහිත නව වැඩ/ක්‍රියාකාරකම් සැලැස්මක් ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.