• Increase font size
  • Default font size
  • Decrease font size

2025-02-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා පුළුල් නීතියක් හඳුන්වා දීම
- ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සම්බන්ධයෙන් එවකට පැවති තර්ජනයන්ට මුහුණ දීම සඳහා 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත පනවනු ලැබ ඇත. පසුකාලීනව 2022 අංක 12 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත වශයෙන් එම නීතියට සංශෝධන හඳුන්වා දෙමින් ජාතික ආරක්ෂාව පිළිබඳ පුළුල් නීතියක් ප්‍රකාශ කිරීම සඳහා වන අන්තර්කාලීන පියවරක් අනුගමනය කර තිබේ. ඉන් අනතුරුව, ත්‍රස්තවාදය මැඩපැවැත්වීම පිළිබඳව පනත් කෙටුම්පතක් සකස් කර ඇති අතර, එකී පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කර ඇත. ඒ අනුව, එකී පනත් කෙටුම්පත සඳහා තවදුරටත් සිදු කළ යුතු සංශෝධන හඳුනාගෙන එකී සංශෝධන ඇතුළත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධිත පනත් කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇත. නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අවසන් කෙටුම්පත පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යයනය කර එකී පනත් කෙටුම්පත තවදුරටත් වැඩිදියුණු කිරීම පිණිස සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.