2024-12-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව) |
අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා සංශෝධන හඳුන්වා දීම - අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය 2023‑07‑01 දින සිට ක්‍රියාත්මක කර ඇති අතර, අංක 2384/30 දරන අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් නැවත සංශෝධනය කර 2024‑07‑01 දින සිට ක්‍රියාත්මක කර තිබේ. මෙම යෝජනා ක්‍රමය යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභි පවුල් සඳහා කාණ්ඩ 04ක් යටතේ ප්‍රතිලාභ හිමි ගැන්වේ. ආර්ථික අර්බුදයේ බලපෑම සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති බැවින්, සංක්‍රාන්තික සහ අවදානමට ලක් වූ කාණ්ඩවලට අදාළව පළමු වටයට තේරී ඇති පවුල් සහ තෝරා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති දෙවන වටයේ අයදුම්පත්වලට අදාළව තෝරාගනු ලබන පවුල් සඳහා තවදුරටත් කෙටි කාලයකට සහන සැලසීමේ අවශ්‍යතාව පෙනී ගොස් ඇත. එමෙන්ම වත්මන් ජීවන වියදම සැලකු විට දැනට ලබා දෙනු ලබන මුදල ප්‍රමාණවත් නොවන බවට ද කරුණු ඉදිරිපත්ව තිබේ. ඒ අනුව, දැනට බලපවත්නා අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය පහත සඳහන් පරිදි සංශෝධනය කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
* දුප්පත් හා අන්ත දිළිඳු සමාජ කාණ්ඩ සඳහා දැනට ගෙවනු ලබන මාසික ප්‍රතිලාභ දීමනාව පිළිවෙලින් රුපියල් 8,500/- සිට රුපියල් 10,000/- දක්වාත්, රුපියල් 15,000/- සිට රුපියල් 17,500/- දක්වාත් වැඩි කිරීම සහ ඒ අනුව සංශෝධිත අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලබන දින සිට ක්‍රියාත්මක කිරීම. * සංක්‍රාන්තික සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ගෙවන කාලසීමාව 2025‑03‑31 දින දක්වා වලංගු වන සේ දීර්ඝ කිරීම. * අවදානමට ලක් වූ සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ගෙවන කාලසීමාව 2025‑12‑31 දින දක්වා වලංගු වන සේ දීර්ඝ කිරීම. |










