2026-04-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව) |
පොදු රාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම සමඟ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර-අක්තපත්‍ර පිළිබඳ ප්‍රතිපත්තියක් සහ රාමුවක් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම (Developing and Implementing a Policy and Framework on Micro‑Credentials in Sri Lanka) සඳහා කාර්ය නිර්ණේය අනුදේශ සකස් කිරීම - ක්ෂුද්‍ර-අක්තපත්‍ර (Micro‑Credentials) යනු වේගවත් තාක්ෂණික වෙනස්කම් සහ විකාශනය වන ශ්‍රම වෙළෙඳපොළ ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන් යාවජීව ඉගෙනීම, ශ්‍රම බලකායේ කුසලතා වැඩිදියුණු කිරීම සහ සේවා නියුක්තිය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පිළිගනු ලබන ඵලදායී යාන්ත්‍රණයකි. ඊට අනුගතව උසස් අධ්‍යාපන සහ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු පද්ධති ශක්තිමත් කිරීම පිණිස සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සුදුසුකම්වල ජාත්‍යන්තර සංසන්දනාත්මක බව හා පිළිගැනීම වැඩි දියුණු කිරීම පිණිස ජාතික ක්ෂුද්‍ර-අක්තපත්‍ර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සහ විෂය සම්භාර හුවමාරු රාමුවක් (Credit Transfer Framework) ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, පොදු රාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් සංවිධානය (Commonwealth of Learning) සමඟ සහයෝගයෙන් එකී කාර්යය ඉටු කිරීම සඳහා කාර්ය නිර්ණේය අනුදේශ (Terms of Reference) සම්පාදනය කිරීම පිණිස 2026 මැයි මාසයේදී කොළඹදී වැඩමුළුවක් පැවැත්වීමට යෝජනා වී ඇත. ඒ අනුව, පොදු රාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් සංවිධානයේ සහයෝගිතාවයෙන් සහ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් ශ්‍රී ලංකාව සඳහා ක්ෂුද්‍ර‑අක්තපත්‍ර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සහ රාමුවක් සම්පාදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් සංවිධානය සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අතර ගිවිසුමකට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. |










