• Increase font size
  • Default font size
  • Decrease font size
විශේෂ තීරණ
2012-11-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය
අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක: 12/1534/558/041-I (2012-11-14)

රාජ්‍ය සේවා කොමිෂන් සභාව අක්‍රීයව තිබූ, 2009-04-09 දින සිට 2011-05-12 දින දක්වා කාලය තුළ (එම කොමිෂන් සභාව වෙනුවෙන්) අමාත්‍ය මණ්ඩලය විසින් දෙනු ලැබූ විනය නියෝගයන්ට එරෙහිව ඉදිරිපත් කරනු ලැබූ අභියාචනා සම්බන්ධයෙන් කටයුතු කිරීම -

(2012 10 18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය  - විෂය අංක 41 ට අදාළ) ඉහත වාර්තාවේ අන්තර්ගත කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදුව, පරිපාලනමය සාධාරණත්වය තහවුරු කිරීම පිණිස පහත සඳහන් පරිදි ක්‍රියා කළයුතු බවට තීරණය කරන ලදී:

(අ)    පහත සඳහන් සුවිශේෂී හේතූන් යටතේ 2009 04 09 සිට 2011 05 12 දින දක්වා රාජ්‍ය සේවා කොමිෂන් සභාව අක්‍රීයව පැවති සමය තුළ, එකී කොමිෂන් සභාව එසේ අක්‍රීයව නොපැවතියේනම් එම කොමිෂන් සභාවේ විෂය පථය යටතට පත්විය හැකිව තිබූ විනය කටයුතු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ මගින් අතෘප්තියට පත් නිලධාරීන් විසින් පහත සඳහන් කරුණුවලට අදාළව එකී කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති හෝ ඉදිරිපත් කරනු ලබන පෙත්සම් එම කොමිෂන් සභාව විසින් සලකා බැලීම යථායෝග්‍ය බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55(1) අනු ව්‍යවස්ථාව ප්‍රකාර ප්‍රතිපත්තිමය කරුණක් වශයෙන් සලකා අනුමත කිරීම:

(i)    විධිමත් විනය පරීක්ෂණයේදී හෝ, අමාත්‍ය මණ්ඩලය විසින් තීරණ ගැනීමේ අවස්ථාවේදී හෝ අවධානය යොමුවිය යුතුව තිබූ, එහෙත් එසේ අවධානය යොමු නොවූ කිසියම් කරුණක් හෝ කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් ඉදිරිපත් කෙරෙන පෙත්සම්;

(ii)    විධිමත් විනය පරීක්ෂණය ආරම්භයේ පටන් අදාළ විනය නියෝගය නිකුත් කිරීම දක්වා වූ ක්‍රියා පරිපාටියේදී චූදිත නිලධාරියාට යම් අගතියක් වන අන්දමේ ක්‍රියා පරිපාටික දෝෂයන් සිදුව ඇති බව පෙන්වා දෙමින් ඉදිරිපත් කෙරෙන පෙත්සම්;

(iii)    අදාළ විනය බලධරයාගේ කර්තව්‍යයන් ක්‍රියාත්මක කරමින් අමාත්‍ය මණ්ඩලය විසින් දෙන ලද කිසියම් විනය නියෝගයක්, ඒ හා සමාන වරදක් සඳහා අතීතයේදී  දී ඇති විනය නියෝගයක්/දඬුවමක් අභිබවා ගොස් ඇතැයි සඳහන් කරමින් ඉදිරිපත් කෙරෙන පෙත්සම්;

(ආ)    ඉහත කී හේතු යටතේ ඉදිරිපත් කෙරෙන පෙත්සම් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිශ්චිතව දක්වනු ලබන කාලපරිච්ඡේදයක් ඇතුළත එකී කොමිෂන් සභාව විසින් භාර ගැනීම. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිශ්චය කරනු ලබන කාලරාමුවක් ඇතුළත එම පෙත්සම් විභාග කොට සිය තීරණ අදාළ පරිපාලන බලධරයා සහ පෙත්සම්කරු වෙත දන්වා යැවීම.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව අක්‍රීයව පැවති කාලපරිච්ඡේදය තුළ අමාත්‍ය මණ්ඩලය විසින් දෙනු ලැබූ විනය නියෝගයක් හේතුවෙන් අතෘප්තියට පත් රාජ්‍ය සේවකයකුට, තමන්ට එරෙහිව ලබාදී ඇති විනය නියෝග යළි සලකා බලන ලෙස ඉල්ලීමක් ප්‍රථමයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමටත්, එම කොමිෂන් සභාවේ තීරණයෙන් තෘප්තියට පත් නොවන්නේ නම් ඔහුට හෝ ඇයට එකී තීරණය ලැබීමෙන් සති හතරක (04) කාලසීමාවක් තුළදී පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරයට අභියාචනයක් ඉදිරිපත් කිරීමටත් අවස්ථාව සලසාදීම ඉහත කී වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ පරමාර්ථය වන බව ද අමාත්‍ය මණ්ඩලය විසින් නිරීක්ෂණය කරන ලදී.