• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා පරිසර වෘත්තීයවේදීන්ගේ ආයතනය පිහිටුවීම
- ශ්‍රී ලංකා පරිසර වෘත්තීයවේදීන්ගේ ආයතනය සංස්ථාගත කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් 2016 පෙබරවාරි 19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට අදාළ ක්‍රියා පටිපාටියට අනුව, එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ලබා දෙන ලද නිර්දේශ මත නීති කෙටුම්පත් සම්පාදක විසින් එම කෙටුම්පත සංශෝධනය කර ඇත. උක්ත ආයතනය පිහිටුවීම තුළින් වෘත්තිකයන් වශයෙන් පරිසර විද්‍යාඥයින්ගේ, පරිසර වෘත්තියවේදීන්ගේ සමාජය, වෘත්තීය වශයෙන් පිළිගැනීමට ලක් කිරීමත්, ඔවුන්ට අදාළ ප්‍රමිතීන් සහ ආචාර ධර්ම රාමුවක් පවත්වාගෙන යාමටත්, ඔවුන්ට දේශීය සහ අන්තර්ජාතික වශයෙන් වෘත්තීය පිළිගැනීමක් ලබා ගැනීමටත් හැකි වන බැවින්, එම ආයතනය සංස්ථාගත කිරීම සඳහා, එකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.