• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා නිදහස් වීසා නිකුත් කිරීම
- සංචාරකයන් වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීම අරමුණු කර ගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් තායිලන්තය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව, සිංගප්පූරුව, නවසීලන්තය, මැලේසියාව, ස්විට්සර්ලන්තය, කාම්බෝජය යන රටවල්වලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා නිදහස් පදනම මත “පැමිණීමේදී ලබා දෙන සංචාරක වීසා බලපත්‍ර” (On Arrival Visas) ලබා දීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස, අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. එසේ වුවද, පාස්කු ඉරිදා ඇති වූ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් මතු වූ ආරක්ෂක තත්වයන් සැලකිල්ලට ගෙන සංචාරකයන් සඳහා නිදහස් පදනම මත වීසා ලබා දීම හඳුන්වා දීම තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

මේ වන විට රටේ වාතාවරණය යථා තත්වයට පත්ව ඇති බැවින් සංචාරකයින්ගේ පැමිණීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉහත රටවල්ද ඇතුළුව ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ, පින්ලන්තය, අයිස්ලන්තය, පිලිපීනය, රුසියාව, චීනය, ඉන්දියාව හා එංගලන්තය යන රටවල් වෙත නිදහස් පදනම මත 'පැමිණීමේදී ලබා දෙන සංචාරක වීසා බලපත්‍ර' ලබා දීමේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස, සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.