• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය මූල්‍ය නියමයන් මත වන ප්‍රතිපත්ති රාමුව සංශෝධනය
- රාජ්‍ය ණය තිරසරව පවත්වා ගෙන යාම හා රාජ්‍ය මූල්‍ය අවදානම් කළමනාකරණය පිණිස 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත මඟින් හඳුන්වා දෙන ලැබූ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් රාමුවක් යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කටයුතු පවත්වා ගෙන යනු ලැබේ. පනත හඳුන්වාදීමේ සිට මුහුණ දීමට සිදු වූ සාර්ව ආර්ථික රාජ්‍ය මූල්‍ය අභියෝගයන්, සුනාමි ව්‍යසනය සහ දීර්ඝකාලීන අභ්‍යන්තර ගැටුම්ද හේතුවෙන් එම පනත මඟින් ඇතැම් රාජ්‍ය මූල්‍ය විචල්‍යයන්ට අදාළව නියම කර තිබූ ඉලක්කයන්ට 2006 සිටම අනුගත වීමට නොහැකි විය. එබැවින් එකී ඇතැම් රාජ්‍ය මූල්‍ය ඉලක්කයන් 2013 හා 2016 වර්ෂ වලදී සංශෝධනය කරනු ලැබ තිබේ. පවතින රාජ්‍ය මූල්‍ය නියාමන රාමුව සංශෝධනය කිරීම පිණිස වගකීම් සහගත රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීමේ අරමුණින් ණය නියමයන්, මධ්‍යකාලීන රාජ්‍ය මූල්‍ය රාමුවක්, මෙහෙයුම් ඉලක්ක, ස්වයංක්‍රීය නිරවද්‍යකරණ ක්‍රමවේදයක්, නම්‍යශීලිත්වය, විනිවිදභාවය සහ වගවීම හා අධීක්ෂණය යන අංගයන්ද ඇතුළත් කරමින් දූරදර්ශී වගකීම් සහගත රාජ්‍ය මූල්‍ය කළමනාකරණ රාමුවක් ස්ථාපිත කිරීමේ අරමුණින් 2003 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත සංශෝධනය කිරීමට හෝ එසේත් නැත්නම් අදාළ සංශෝධන දැනට කෙටුම්පත් කර ගෙන යනු ලබන රාජ්‍ය මුදල් කළමනාකරණ පනතට ඇතුළත් කිරීමට හෝ මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.