• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල්වල ඉගෙනුම් පරිසරය වැඩිදියුණු කිරීම
- දශක 03ක කාලයක් පුරා පැවති ගැටුම් හේතුවෙන් පසුගාමී සංවර්ධන මට්ටමක පැවති කිලිනොච්චි ප්‍රදේශයේ අධ්‍යාපන කටයුතු ඉහළ ගුණාත්මක තත්ත්වයකින් පවත්වාගෙන යාමට හැකි වනු පිණිස විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට රජය විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය විසින් සපයන ලද ඇමරිකානු ඩොලර් මිලියන 2ක ප්‍රදානයක් යටතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම 2011 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරන ලදී. එම ව්‍යාපෘතියේ දිගුවක් ලෙස 2018 - 2022 කාලපරිච්ඡේදය තුළ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ හඳුනාගත් පාසල් 13ක අධ්‍යාපන කටයුතු ඉහළ නැංවීම සඳහා වන ව්‍යාපෘතියක් ඇමරිකානු ඩොලර් මිලියන 7.5ක ප්‍රදාන යටතේ ක්‍රියාත්මක කරනු ලබන බවට අධ්‍යාපන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.