• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන ප්‍රතීතණය හා වැඩිදියුණු කිරීම
- වාර්ෂිකව 150,000කට අධික සිසුන් සංඛ්‍යාවක් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වීම සඳහා සුදුසුකම් ලැබූවද ජාතික විශ්වවිද්‍යාලයන්හි පවතින පහසුකම් සීමාසහිත වීම හේතුවෙන් 125,000කට අධික සිසුන් සංඛ්‍යාවකට ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය වෙත ඇතුළත්වීමට අවස්ථාව නොලැබේ. මෙයට විසඳුමක් ලෙස රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවලින් උපාධි ලබාගැනීම සඳහා සිසුන් දිරිගැන්වීමට රජය විවිධ දිරිගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී. රජයේ උසස් අධ්‍යාපන ආයතන සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වූ උසස් අධ්‍යාපන පුළුල් කිරීම සහ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය (AHEAD) නම් වූ ව්‍යාපෘතියේ පවතින ඉතිරිවීම් භාවිත කරමින් ප්‍රතීතණය කරන ලද රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට රජයේ අවධානය යොමු වී ඇත. එමඟින් රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා ඇතුළත් වීමට වරම් නොලබන උසස්පෙළ සමතුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා වර්ධනය කිරීමට හැකියාව ලැබෙනු ඇත. මෙම කරුණු සැලකිල්ලට ගෙන උසස් අධ්‍යාපන පුළුල් කිරීම සහ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය (AHEAD) නම් වූ ව්‍යාපෘතියේ පවතින ඉතිරිවීම් භාවිත කරමින් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ප්‍රතීතණය කරන ලද රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙත මූල්‍යාධාර ලබා දීම සහ එම වැඩසටහන අධීක්ෂණය කිරීම සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.