• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2007 අංක 26 දරන ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය පනත සංශෝධනය කිරීම
- රජයෙහි භාෂා ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අරමුණින්, 2007 අංක 26 දරන ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය පනත මඟින් ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය ස්ථාපනය කර ඇත.සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම සඳහා ගුරුවරුන් බිහි කිරීම, භාෂා හා භාෂණ පරිවර්තකයන් බිහි කිරීම, ත්‍රෛභාෂා හැකියාව ඇති තැනැත්තන් පුහුණු කිරීම මෙහි මූලික පරමාර්ථ වේ. එසේ වුවද, වර්තමාන තත්ත්වයන්ට ගැළපෙන පරිදි ආයතනය පිහිටුවීමේ අරමුණු වඩාත් පුළුල් මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා විශ්වවිද්‍යාල හා වෙනත් උසස් අධ්‍යාපන ආයතන සමඟ අන්තර් සබඳතා ගොඩනගා ගනිමින් පාඨමාලා ක්‍රියාත්මක කිරීම, ප්‍රාදේශීය වශයෙන් භාෂා පුහුණු පාඨමාලා සිදු කිරීම සහ ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා විධිවිධාන සලසමින් 2007 අංක 26 දරන ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය පනත සංශෝධනය කිරීම පිණිස, ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ම‍නෝ ගනේසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.