• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම ප්‍රතිලාභ පහසුවෙන් හා කඩිනමින් ලබාගැනීමට හැකි වන පරිදි 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝග සෑදීම
- පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා විශ්‍රාමික ප්‍රතිලාභ සැලසීමේ අරමුණින් 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සම්මත කරන ලදී. මෙම පනතේ විධිවිධාන ප්‍රකාරව සේවා යෝජකයකු විසින් සේවකයෙකු සේවයට බඳවාගනු ලැබූ පසු එම සේවකයාගේ තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට එම සේවා යෝජකයා බැඳි සිටියද එම තොරතුරු ලබා දීම කුමන කාලසීමාවක් තුළ කළ යුතුද යන්න සම්බන්ධයෙන් ඉහත පනතේ ප්‍රතිපාදන සලසා නොමැත. එබැවින් සැලකිය යුතු සේවක පිරිසක් විවිධ අපහසුතාවන්ට ලක්වන බව නිරීක්ෂණය වී ඇත. මෙම කරුණු සැලකිල්ලට ගෙන සේවකයෙක් සේවයේ නියුක්ත කළ දිනයේ සිට නියම කරනු ලබන නිශ්චිත කාලයක් තුළ මෙම සේවකයාගේ තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට සේවා යෝජක වෙත නියම කිරීමටත්, සේවා යෝජක විසින් එසේ ලබාදීම පැහැර හරින අවස්ථාවකදී අදාළ සේවකයාට එම තොරතුරු ඍජුවම දැනුම් දීමටත් හැකිවන පරිදි 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝග සෑදීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ නොවන කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.