• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෑතකදී සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරවලින් බලපෑමට ලක්වූවන්ට වන්දි ගෙවීම සහ හානියට පත් දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම
- මෑතක දී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මරණයට පත්වූ හා පූර්ණ වශයෙන් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වූ අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමටත්, තුවාල ලැබූ අය වෙනුවෙන් රුපියල් ලක්ෂ 05ක් දක්වා වන්දි ගෙවීමටත් හානියට පත් වූ දේපල වෙනුවෙන් රුපියල් මිලියන 05ක් දක්වා වන්දි ගෙවීමටත්, හානියට පත් වූ දේවස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව හානිපූරණය සඳහා වූ කාර්යාලය මඟින් මේ වන විට රුපියල් මිලියන 198කට අධික වන්දි මුදලක් බලපෑමට ලක්වූවන් වෙත ලබා දී ඇති අතර, පූජනීය ස්ථාන ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 25ක් අත්තිකාරම් ලෙස ලබා දී තිබේ. එසේම කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු පර්චස් 09ක ඉඩම් කොටසක් එම දේවස්ථානය වෙත පවරා දීමටද පියවර ගෙන තිබේ. කෙසේවුවද, ප්‍රහාර හේතුවෙන් ආබාධිතවූ පුද්ගලයින් සහ බලපෑමට ලක් වූ ළමුන් වෙනුවෙන් තවදුරටත් අවශ්‍ය සහන සලසා දීම සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ ප්‍රදාන මඟින් රුපියල් මිලියන 500ක අරමුදලක් ගොඩනැඟීමටත්, බලපෑමට ලක් වූ පුද්ගලයින්ගේ විශේෂ අවශ්‍යතා හඳුනාගෙන තවදුරටත් අවශ්‍ය සහන සැලසීම පිණිස අදාළ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.