• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වතු පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම
- මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර, වයඹ සහ දකුණ යන පළාත්වල වතු ආශ්‍රිතව වෙසෙන ලක්ෂ දෙකකට අධික සිසු සිසුවියන්ගේ අධ්‍යාපන අවශ්‍යතාවන් වතු පාසල් විසින් සපුරනු ලබයි. එසේ වුවද එම පාසල් සතුව ප්‍රමාණවත් මූලික පහසුකම් නොමැති වීම හේතුවෙන් එම සිසු සිසුවියන් සඳහා ගුණාත්මක අධ්‍යාපනයක් සැපයීම ගැටලුවක්ව පවතියි. එබැවින් වතු සේවකයින්ගේ දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ මට්ටමකට ඔසවා තැබීමේ අරමුණින් ඉන්දියානු රජය විසින් ප්‍රදානය කරනු ලබන රුපියල් මිලියන 300ක ආයෝජනයක් යටතේ වතු ආශ්‍රිතව පිහිටා ඇති අඩු පහසුකම් සහිත හඳුනා ගනු ලැබ ඇති පාසල්වල, පාසල් ගොඩනැඟිලි අලුත්වැඩියාව, පන්ති කාමර පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්, පානීය ජල පහසුකම් හා පාසල් උපකරණ ආදිය සැපයීම හරහා මෙම පාසල් සංවර්ධනය කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව ඒ සඳහා ඉන්දියානු රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.