• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහනේ අදියර - I ක්‍රියාත්මක කිරීම
- දේශගුණික අව බලපෑම් හේතුවෙන් සිදුවන අවදානම් අවම කිරීම පිණිස මහවැලි, කැලණි, මල්වතු, ගිං, නිල්වලා, අත්තනගලු, මුන්දෙනි ආරු ගංගා ද්‍රෝණි මෙන්ම කලා ඔය, දැදුරු ඔය, මහ ඔය සහ ගල් ඔය ද්‍රෝණිද ආවරණය වන පරිදි දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර ව්‍යාපෘතියක් වසර 8 - 10 අතර කාලසීමාවක් තුළ අදියර 03ක් යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතියේ ප්‍රථම අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ගංවතුර සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම සහ කැලණි ග‍ඟේ ගංවතුර අවදානම අවම කිරීමේ ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 310ක ආයෝජනයක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. මේ මඟින් කාලගුණ හා දේශගුණ තත්ත්වය පිළිබඳ පුරෝකථනය කිරීමට හා ආපදා පූර්ව දැනුම් දීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීමටත්, හංවැල්ල හා කඩුවෙල අතර පහළ කැලණි ගඟ ඉවුර ප්‍රදේශයේ ගංවතුර අවදානම අඩු කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමටත් නියමිතය. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැලසීමට එකඟතාවය පළ කර ඇති සංවර්ධන හා ප්‍රතිසංස්කරණය සඳහා වූ අන්තර්ජාතික බැංකුව සමඟ ණය සම්මුති සාකච්ඡා පැවැත්වීම හා මූල්‍ය ගිවිසුමකට එළඹීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.