• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමුපකාර ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා පනතක් කෙටුම්පත් කිරීම
- වර්තමානය වන විට දිවයින පුරා සමුපකාර ග්‍රාමිය බැංකු 2,269ක්, සමුපකාර ග්‍රාමිය බැංකු සංගම් 17ක් සහ මූල්‍ය සේවා සමුපකාර සමිති 8,004ක් ක්‍රියාත්මකව පවතියි. එමෙන්ම සමුපකාර ග්‍රාමිය බැංකු පද්ධතිය මඟින් රුපියල් බිලියන 115ක් පමණ සාමාජික හා සාමාජික නොවන තැන්පතු ලෙස රැස් කරනු ලැබ ඇති අතර, රුපියල් බිලියන 59.8ක පමණ මුදලක් මුළු ණය ලෙස නිකුත් කරනු ලැබ ඇත. එයට අමතරව, අනෙකුත් මූල්‍ය සේවා සමුපකාර සමිති විසින් රුපියල් බිලියන 104ක පමණ මුදලක් තැන්පතු ලෙස රැස්කරනු ලැබ ඇති අතර, රුපියල් බිලියන 95ක පමණ මුදලක් මුළු ණය ලෙස නිකුත් කරනු ලැබ ඇත. සමුපකාර ව්‍යාපාරය ඉහත පරිදි මූල්‍යමය වශයෙන් ශක්තිමත් වුවද ඇතැම් මූල්‍ය සේවා සමුපකාර සමිතිවල දුර්වල මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ප්‍රාග්ධන අලාභවලට මුහුණ දීමට සිදුව ඇති බව හා අරමුදල් අනාරක්ෂිත තත්වයකට පත්ව තිබෙන බව නිරීක්ෂණය වී තිබේ. එබැවින් සමුපකාර මූල්‍ය ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටලු විසඳීම සහ සමුපකාර ග්‍රාමීය බැංකු හා අනෙකුත් මූල්‍ය සේවා සමුපකාර සමිති නියාමනය, අධීක්ෂණය, ප්‍රවර්ධනය හා බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් නෛතික ප්‍රතිපාදන සැලසිම පිණිස පනතක් කෙටුම්පත් කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.