• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉවතලන පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම පිණිස පයිරොලයිසිස් යන්ත්‍රයක් (Waste Plastic Pyrolysis Machine)ස්ථානගත කිරීම
- නාගරික ප්‍රදේශවලින් ඝන අපද්‍රව්‍යයක් ලෙස ජනනය වන හා අවිධිමත් ලෙස බැහැර කරනු ලබන පොලිතින් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට භාජනය නොකර අවිධිමත් ලෙස බාහිර පරිසරයට බැහැර කිරීම ප්‍රබල පාරිසරික හා සෞඛ්‍යමය ගැටලුවක් බවට පත්ව ඇත. නාගරික කසළ සමඟ මිශ්‍රව පවතින පොලිතින් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය පයිරොලයිසිස් තාක්ෂණය යොදා ගනිමින් ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා දකුණු කොරියාවේ ඔමේගා එනර්ජි එන්වයිරොටෙක් ආයතනය විසින් යන්ත්‍රයක් නිර්මාණය කරනු ලැබ ඇත. මෙම යන්ත්‍රය මඟින් පොලිතින් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය පයිරොලයිසිස් තෙල් හා කාබන් කුඩු බවට පරිවර්තනය කරන අතර, එම තෙල් ඉන්ධනයක් වශයෙන්ද, කාබන් කුඩු මාර්ගවල අතුරන ගල් නිෂ්පාදනය සඳහාද යොදා ගැනීමේ හැකියාව පවතියි. ඔමේගා එනර්ජි එන්වයිරොටෙක් ආයතනය විසින් මෙම යන්ත්‍රය මධ්‍යම පරිසර අධිකාරිය වෙත ප්‍රදානය කිරීමට එකඟතාව පළ කරනු ලැබ ඇත. ඒ අනුව, එය ගම්පහ දිස්ත්‍රික් ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ අත්තනගල්ල පෙතියාකන්ද කාබනික පොහොර අංගනයේ ස්ථාපිත කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.