• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය භාෂා දිනයක් හා ඊට සමගාමි සතියක් ප්‍රකාශයට පත් කිරීම
- වර්තමාන රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අනුව සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ භාෂා අයිතිය සුරැකීම පිණිස සිංහල හා දමිළ භාෂා රාජ්‍ය හා ජාතික භාෂා ලෙසත්, ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාව ලෙසත් භාවිත කරනු ලබයි. එමඟින් අපේක්ෂිත ප්‍රතිලාභ තවදුරටත් ඉස්මතු වීම පිණිස රාජ්‍ය භාෂා දිනයක් හා ඊට සමගාමීව රාජ්‍ය භාෂා සතියක් ප්‍රකාශයට පත් කොට එය වාර්ෂිකව සැමරීම සුදුසු බව යෝජනා වී ඇත. එමඟින් රාජ්‍ය ආයතනවල ද්විභාෂා සමසේවා අවස්ථා වැඩිදියුණු කිරීමටත්, සියලු ජන කොටස් අතර සම අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් විෂමතා පිටුදැකීමටත්, තිරසර සාමය හා සංහිඳියාව අගය කරන සමාජයක් නිර්මාණය කිරීමටත් හැකි වෙතැයි අපේක්ෂා කරනු ලැබේ. ඒ අනුව, ජුනි 03 දින රාජ්‍ය භාෂා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට සහ එදින සිට පුරා සතියක් රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශයන්හි පූර්ණ දායකත්වය යටතේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායීව ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් වැඩසටහන් ක්‍රියාවට නැංවීමටත් ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ම‍නෝ ගනේසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.