• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වකුගඩු රෝග පෙර හඳුනාගැනීමේ ජංගම ගිලන් රථ 08ක ප්‍රදානය
- ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් බවට පත් වී ඇති හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක වෙසෙන සැලකිය යුතු ජන සංඛ්‍යාවක් බලපෑමට ලක් වීමේ ඉඩකඩක් පවතින බව හඳුනාගෙන තිබේ. මෙයට ගොදුරු වූ රෝගීන් ප්‍රතිකාර සඳහා රෝහල් ගතවන්නේ ඔවුන්ගේ වකුගඩුවල ක්‍රියාකාරිත්වය 60%ක පමණ ප්‍රමාණයක් හානි වීමෙන් පසුව බව නිරීක්ෂණය කර තිබේ. එසේ වුවද, මෙම රෝගය කලින් හඳුනාගැනීම මඟින් රෝගය වර්ධනය වීමේ හා ඒ සඳහා ප්‍රතිකාර ලෙස සිදු කරන රුධිර කාන්දු පෙරණ හා වකුගඩු බද්ධ කිරී‍මේ තත්ත්වයන්ගෙන් තොරව රෝගීන්ගේ ආයුකාලය දීර්ඝ කරගැනීමේ හැකියාවක් පවතී. නිදන්ගත වකුගඩු රෝගය සඳහා නිර්දේශිත ප්‍රතිකාර ක්‍රමවේදය වන්නේ රෝගය කලින් හඳුනාගැනීමේ පරීක්ෂණ සිදු කර ඒවායේ ප්‍රතිඵල අනුව එම අවස්ථාවේදීම ප්‍රතිකාර ලබා දීමයි. ඒ සඳහා පහසුකම් සලසා ගැනීම පිණිස චීන රජය විසින් වකුගඩු රෝග හඳුනාගැනීම සඳහා අවශ්‍ය උපකරණ වලින් සමන්විත ගිලන් රථ 08ක් ප්‍රදානය කිරීමට එකඟතාව පළ කරනු ලැබ ඇත. ඒ අනුව එම ප්‍රදාන ලබාගැනීම සඳහා චීන රජය සමඟ ගිවිසුමකට එළඹීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.