• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩාවිලච්චිය වැව සහ දෙමටගල වැව ප්‍රතිස්ථාපනය කිරීම
- මහවිලච්චිය ප්‍රදේශයේ ජනතාවගේ පානීය, ගෘහස්ත හා කෘෂිකාර්මික කටයුතු සඳහා සපයනු ලබන ජල ප්‍රමාණය ඉහළ නැංවීම පිණිස විල්පත්තු ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටි දැනට අතහැර දමා ඇති කුඩාවිලච්චිය වැව ප්‍රතිසංස්කරණය කිරීමට යෝජනා වී ඇත. එමඟින් මහවිලච්චිය ප්‍රදේශයේ ග්‍රාමනිලධාරී වසම් 12ක වෙසෙන 25,000ක් පමණ වන ජනතාවකට ප්‍රතිලාභ ලැබෙන අතර, එමඟින් වගා කළ හැකි ඉඩම් හෙක්ටයාර් 320ක් සඳහා වාරි ජල සැපයුම වර්ධනය කිරීමටද අපේක්ෂා කෙරේ. එසේම මෙමඟින් විල්පත්තු ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව වෙසෙන වනජීවීන් සඳහාද ජලය සැපයෙන බැවින් ජලය සොයමින් සැරිසරන අලි රංචු වනය තුළට සිමා කිරීම තුළින් අලි මිනිස් ගැටුම් ද අවම වේ යැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම පලාගල ප්‍රදේශය ආශ්‍රිතව නිරතුරුවම ජල හිඟයෙන් පීඩාවට පත් වන ජනතාවගේ ජල අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා දැනට අතහැර දමා ඇති දෙමටගල වැව ප්‍රතිසංස්කරණය කර හැවන් ඇල්ල ඔය හරහා පෝෂක ඇළක් සහ අමුණක් ඉදි කර ප්‍රදේශයේ පිහිටා ඇති 32ක් පමණ වන ග්‍රාමීය වැව්වලට අමතර ජලය සපයා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබේ. එමඟින් වගා බිම් හෙක්ටයාර 520ක පමණ වාරි ජලය සැපයෙනු ඇති අතර, ගොවි පවුල් 1,250කට පමණ ප්‍රතිලාභ අත්වනු ඇත. එමෙන්ම එමඟින් කහල්ල වනාන්තරය හරහා ඉදි වෙන යෝජිත ඇළ මාර්ගය මඟින් වන ජීවීන්ටද වියළි කාලයේදී ජලය ලබාගැනිමට හැකිවනු ඇත. ඒ අනුව, රුපියල් මිලියන 1,000ක ආයෝජනයක් සහිතව වසර 03ක කාලයකදී කුඩා විලච්චිය වැව ප්‍රතිස්ථාපනය කිරීමටත්, දෙමටගල වැව ප්‍රතිස්ථාපනය, හැවන්ඇල්ල අමුණ හා පෝෂක ඇළ වැඩිදියුණු කිරීම අදියර 2ක් යටතේ රුපියල් මිලියන 924ක ආයෝජනයක් මඟින් සිදු කිරීමටත් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.