• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම
- උසස් පෙළ ජීව විද්‍යා විෂයධාරාව හදාරමින් වාර්ෂිකව 25,000ක පමණ ශිෂ්‍ය පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූවද මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි පවතින පහසුකම් අනුව සිසුන් 1,484ක් සඳහා පමණක් වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා අවස්ථාව හිමි වේ. එමෙන්ම ඉහළ මැදි ආදායම් රටක් ලෙස මෙරට ආර්ථිකය පරිවර්තනය කිරීමේදී එයට සමගාමීව රටේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම පිණිස ජනගහණයෙන් ලක්ෂයකට සිටින වෛද්‍යවරු සංඛ්‍යාව 89.5ක් ලෙස දැනට පවතින අනුපාතය තවදුරටත් වර්ධනය කළ යුතුව ඇත. එම ඉලක්ක අත්පත් කරගැනීම සඳහා මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නව වෛද්‍ය පීඨයන් ආරම්භ කිරීම සඳහා රජයේ අවධානය යොමු වී තිබේ. එහි එක් පියවරක් ලෙස මෙම වසර මුලදී සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක් විවෘත කරන ලදී. එම වෛද්‍ය පීඨය ඉදි කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මෙම පීඨය සඳහා පරිපාලන, පුස්තකාල හා පූර්ව සායනික ගොඩනැඟිලි, ශිෂ්‍ය නේවාසිකාගාර, නිල නිවාස සහ මහාචාර්ය ඒකක ඉදි කිරීමටත් මෙම පීඨය සඳහා අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම්, වෛද්‍ය, විද්‍යාගාර හා කාර්යාල උපකරණ සහ යන්ත්‍රසූත්‍ර මිල දී ගැනීමටත්, කාර්ය මණ්ඩලය පුහුණු කිරීම් කටයුතු සිදු කිරීමටත් සැලසුම් කර තිබේ. ඒ අනුව මෙම ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදි කිරීම් 2020 - 2021 කාලරාමුව තුළ සෞදි සංවර්ධන අරමුදලෙන් ලබා ගන්නා ණය මුදලක් උපයෝගි කරගෙන ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.