• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, සෞඛ්‍ය හා පෝෂණ මට්ටම ඉහළ නැංවීම
- සාමාජීය, සෞඛ්‍ය හා අධ්‍යාපනික දර්ශක අනුව ශ්‍රී ලංකාව එම අංශවල ඉහළ මට්ටමක් අත්පත් කරගෙන ඇති නමුත් තවමත් පාසල් ළමුන් අතර මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන් සැලකිය යුතු පිරිසක් සිටින බව නිරීක්ෂණය වි ඇත. මේ අනුව පාසල් ළමුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා පාසල් ආහාර වැඩසටහන, පාසල් කිරි වැඩසටහන, ත්‍රිපෝෂ වැඩසටහන, පෙර පාසල් ළමුන්ගේ පෝෂණ වැඩසටහන්, ගැබිනි හා කිරිදෙන මව්වරුන් සඳහා වන පෝෂණ වැඩසටහන් යනාදි වැඩසටහන් විවිධ රේඛීය අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙයට අමතරව පාසල් ළමුන්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහා ඇමරිකානු එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් Save the Children සංවිධානය මඟින් ක්‍රියාත්මක කරනු ලබන වෙළඳපොළ සබඳතා මත ස්වයං පාලනය, සාක්ෂරතාවය හා අවධානය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 26ක ප්‍රදානයක් ලබා දීමට එකඟත්වය පළ කර තිබේ. වසර 05ක කාලයක් තුළ ක්‍රියාත්මක වන යෝජිත වැඩසටහන යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 8.8ක්පමණ වටිනාකමකින් යුත් උසස් තත්වයේ ආහාර ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 4,220ක් සහ රජය විසින් ක්‍රියාත්මක කරන පෝෂණ, සෞඛ්‍ය, සාක්ෂරතා, අධ්‍යාපන යනා දී අංශවල වැඩිදියුණු කිරීම් සඳහා වූ ව්‍යාපෘති 13ක් සඳහා ආයෝජනය කිරීමට නියමිතය. මීට අමතරව මන්ද පෝෂණය ඉහළ මට්ටමක පවතින කිලිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය, නුවරඑළිය, බදුල්ල, මොනරාගල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කයන්හි පිහිටි පාසල් 887ක අධ්‍යාපනය ලබන 108,940ක පමණ සිසුන් පිරිසක් වෙත දැනට ලබා දෙනු ලබන දේශීය ආහාරවලට අමතරව පරිපූරක ආහාර ලබා දීම මඟින් ඔවුන්ගේ පෝෂණ ඌනතාවය සපුරාලීම කෙරෙහිද අවධානය යොමු කර තිබේ. ඒ අනුව, මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.