• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'ජාතික ගොඩනැඟිලි සංග්‍රහය' පිළියෙල කිරීම
- ගොඩනැඟිලි කඩා වැටීම, ගිනි ගැනීම සහ ස්වභාවික ආපදා හේතුවෙන් ගොඩනැඟිලිවලට ඇති වන විපත් වැනි සිදුවීම් ඉහළ යාමේ ප්‍රවණතාවක් මෑතක සිට ශ්‍රී ලංකාවේ නිරීක්ෂණය වී තිබේ. මෙම සිදුවීම් බොහෝමයක් සඳහා හේතු වී ඇත්තේ ඉදිකිරීම්වලදී නිසි ඉංජිනේරුමය ක්‍රියාවන් අනුගමනය නොකිරීම සහ සුදුසුකම් නොලත් පුද්ගලයන් ඉදි කිරීමේ කාර්යයන් සඳහා යොදා ගැනීම බව පෙනී ගොස් තිබේ. තවද, අනාරක්ෂිත ගොඩනැඟිලි හඳුනාගැනීම සහ එවැනි ගොඩනැඟිලිවල තත්ත්වය ඇගයීම පිණිස ක්‍රමවත් නියාමන යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව තුළ නොමැති වීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වී තිබේ. එබැවින් ගොඩනැඟිලි සැලසුම් කිරීම, ඉදිකිරීම, වෙනස් කිරීම සහ නඩත්තු කටයුතු යන කාර්යයන් පාලනය කිරීම පිණිස වන රෙගුලාසි මාලාවක් වශයෙන් ජාතික ගොඩනැඟිලි සංග්‍රහයක් (Building Code) පිළියෙල කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන තිබේ. ඒ අනුව අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වය සහිතව, ශ්‍රී ලංකාවේ ගොඩනැඟිලි ඉදි කිරීම් අංශය සඳහා ජාතික ගොඩනැඟිලි සංග්‍රහයක් සකස් කිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.