• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උසාවි දඩ මුදල් සහ ඉඩම් පැවරීම මත අයවන මුද්දර ගාස්තු පළාත් පාලන ආයතන වෙත ලැබීම විධිමත් කිරීම හා කඩිනම් කිරීම
- පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල උසාවි දඩ මුදල් සහ ඉඩම් පැවරීම් සඳහා ලියා සහතික කරනු ලබන ඔප්පු මත අයවන මුද්දර ගාස්තුවලින් එකතු වන ආදායම් එකී පළාත් පාලන ආයතනවලට ලබා දීම සඳහා දැනට පවතින ක්‍රමවේදය වඩා කාර්යක්ෂම කිරීමේ අරමුණින් 1987 අංක 42 දරන පළාත් සභා පනතේ 19 වන වගන්තිය සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, සකස් කර ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් ලබාගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154උ ව්‍යවස්ථාව අනුව අතිගරු ජනාධිපතිතුමා මඟින් පළාත් සභා වෙත යොමු කර සංශෝධන කිසිවක් පවතින්නේ නම් ඒවාද ඇතුළත් කර සකස් කරනු ලබන පනත් කෙටුම්පත අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.