• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාරම්පරික වෛද්‍ය දැනුම සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය - II වන අදියර
- බෝ නොවන රෝග මෙන්ම අනෙකුත් රෝග නිවාරණය හා වැළැක්වීම සඳහා අපගේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය බොහෝ සේ ඉවහල් වී ඇති බවට සාක්ෂි පවතියි. එබැවින් පාරම්පරික වෙදකම රැකගැනීමේ සහ ප්‍රචලිත කිරීමේ වැදගත්කම සලකා මේ වන විට අභාවයට යමින් පවතින පාරම්පරික වෛද්‍ය ක්‍රම හා වෛද්‍ය දැනුම සංරක්ෂණය කිරීම සඳහා ව්‍යාපෘතියක් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර තිබේ. එහි මුල් පියවර යටතේ වෛද්‍යවරුන් 2,500කගේ පමණ තොරතුරු රැස්කර දත්ත පද්ධතියක් සකස් කිරීම, පැරණි පුස්තකාලය හා පුස්කොල පොත් සංරක්ෂණ ලේඛනගාරය නවීකරණය කිරීම, පුස්කොල පොත් 400ක් පමණ සංරක්ෂණය හා අනුලේඛනය කිරීම, පාරම්පරික වෛද්‍ය දැනුම සංරක්ෂණය කිරීමට අදාළ නීතිරීති සකස් කිරීම සහ ඩිජිටල් පුස්තකාල සඳහා අවශ්‍යවන ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකය ස්ථාපිත කිරීම වැනි කටයුතු ආරම්භ කර තිබේ. එහි දෙවන අදියර ලෙස චිරත්කාලීන ප්‍රතිකාර, නිවාරණ ක්‍රමවේද සහ ඇවතුම් පැවතුම් විධි සංරක්ෂණය කරගැනීමටත්, පාරම්පරික වෛද්‍ය ක්‍රමවේද පර්යේෂණයට ලක්කර විද්‍යාත්මකව තහවුරු කිරීමටත්, මෙම වෛද්‍ය ක්‍රමය අනාගත පරපුරට උරුම කරදීමටත් නියමිතව ඇත. එම අරමුණු ඉටු කරගැනීම සඳහා රුපියල් මිලියන 350ක ආයෝජනයක් සහිතව මධ්‍යකාලීන අයවැය රාමුව තුළ මෙම දෙවන අදියර ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.