• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම සඳහා මූල්‍යාධාර ලබාගැනීම
- ඉහළ උන්නතාංශ පුහුණුව ක්‍රීඩකයන්ගේ පෙනහළු ධාරිතාව ඉහළ නැංවීමට හේතු වන අතර, එය ක්‍රීඩකයන්ගේ දරා ගැනීමේ ශක්තිය හා ශාරීරික ශක්තිය ඉහළ නැංවීමට හේතු වේ. එමඟින් ජාත්‍යන්තර තලයේදී සාර්ථකව දස්කම් දක්වමින් ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට හැකියාව වර්ධනය වන බව හඳුනාගෙන තිබේ. ඉහළ උන්නතාංශ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක් මුහුදු මට්ටමේ සිට මීටර 1,500 - 3,500 උසින් ඉදි විය යුතුව ඇත. දැනට ආසියාවේ උසින් වැඩිම එවැනි මුහුදු මධ්‍යස්ථානයක් මීටර 1,899ක උසින් යුක්තව චීනයේ පිහිටා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ස්වභාවික පිහිටීම උපයෝගී කරගනිමින් නුවරඑළිය ප්‍රදේශයේ මීටර 1,895ක උසින් යුත් හඳුනාගත් භූමියක පුහුණු සංකීර්ණයක් ඉදි කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා අවශ්‍ය අරමුදල්වලින් අපනයන ණය පහසුකමක් යටතේ එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය ආයතනය විසින් අවශ්‍ය අරමුදල් සැපයීමට එකඟ වී ඇත. එකී අපනයන ණය පහසුකම මඟින් ආවරණය නොවන ව්‍යාපෘති වටිනාකම මූල්‍යයනය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් ලබා දීමට මහජන බැංකුව විසින් එකඟතාව පළ කරනු ලැබ ඇති අතර, ඒ අනුව එම බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.