• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අනුරාධපුර දකුණ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය දෙවන අදියර ක්‍රියාත්මක කිරීම
- අනුරාධපුර දකුණ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අදියර දෙක යටතේ නාච්චදූව, තලාව, රබෑව, මිහින්තලය, තිරප්පනේ, කුඩා නගරය, අනුරාධපුර නගරයේ ඇතැම් ප්‍රදේශ, නුවරගම් පළාත මධ්‍යම හා නැ‍ඟෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වෙසෙන ජනතාවට ප්‍රතිලාභ සැලසෙන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබිණි. එසේ වුවද, ඒ සඳහා අවශ්‍ය ජලය ලබාගැනීමට සැලසුම් කර තිබුණු වැව්වලින් ජලය සපයා ගැනීම පිළිබඳ මතු වී තිබූ ගැටලු හේතුවෙන් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ජලය නාච්චදූව වැවෙන් ලබාගැනීමට හැකිවන පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය තුරුවිල, ඝන මීටර 33,500ක ධාරිතාවකින් යුත් නව ජල පවිත්‍රාගාරයක්, ගබඩා කුලුනු 09ක්, ජලය එක්රැස්වන ජල ටැංකි 06ක්, බෙදා හැරීම් පද්ධතිය සහ නාච්චදූව වැවේ සිට තුරුවිල දක්වා සම්ප්‍රේෂණ නළ මාර්ගයක් ඇතුළත්ව රුපියල් මිලියන 16,936.06ක ආයෝජනයක් යටතේ ඉදි කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ. ඒ අනුව, අවශ්‍ය ඇගයීම් කිරීම සඳහා ප්‍රසම්පාදන කමිටුවක් පත් කිරීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.