• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුහුණු ව්‍යාපෘති සහකාරවරුන් 7,500ක් බඳවා ගැනීම
- සංවර්ධන ව්‍යාපෘතීන් ඵලදායි අන්දමින් ක්‍රියාත්මක කිරීම පිණිස එම ව්‍යාපෘතීන් සමීප අධික්ෂණයට ලක් කිරීම හා සම්බන්ධීකරණය කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක්ව ඇත. ඒ සඳහා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දක්වා අධ්‍යාපනය ලැබූ රැකියා විරහිත තරුණ ප්‍රජාව සම්බන්ධ කරගැනීම මඟින් ඔවුන්ද ජාතික සංවර්ධන ක්‍රියාවලියේ කොටස්කරුවන් බවට පත් කරගැනීමට යෝජනා වී ඇත. ඒ අනුව, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය වෙත පුහුණු ව්‍යාපෘති සහකාරවරුන් 7,500ක් බඳවා ගැනීමට සැලසුම් කරනු ලැබ ඇත. එසේ තෝරාගනු ලබන අයදුම්කරුවන් වසරක කාලසීමාවක් සඳහා කොන්ත්‍රාත් පදනමින් පුහුණු ව්‍යාපෘති සහකාර තනතුරට පත් කිරීමටත්, ඔවුන්ට රුපියල් 15,000/-ක මාසික දීමනාවක් ගෙවීමටත් ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.