• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආබාධ සහිත පුද්ගලයින් හා වැඩිහිටි ප්‍රජාව සවිබල ගැන්වීම පිළිබඳ විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයින් හා වැඩිහිටි ප්‍රජාව සමස්ත ජනගහනයෙන් 15%කටත් වඩා වැඩි බව පෙනී ගොස් ඇත. ඔවුන්ට මුහුණ දීමට සිදු වන අසමානතාවයන් අවම කරමින්, ඔවුන්ගේ අවශ්‍යතාවන් සපුරා ගැනීමට හැකි වන පරිදි අවශ්‍ය පහසුකම් සැපයීම මඟින්, ඔවුන් වෙනත් අයෙකු මත යැපීමකින් තොරව, ගෞරවාන්විතව ජීවත්වීමට හා ඔවුන් රටේ සංවර්ධනයට දායක කරගැනීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කළ යුතුව ඇත. ඒ පිළිබඳව අවධානය යොමු කරමින් ආබාධ සහිත පුද්ගලයින් හා වැඩිහිටි ප්‍රජාව සවිබල ගැන්වීම පිළිබඳ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව, පොදු සේවා හා පහසුකම් භාවිතයේදී සමානාත්මතාව තහවුරු කිරීම හා ඒවාට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ආර්ථික හා සාමාජීය වශයෙන් ඔවුන් සවිබල ගැන්වීම, ඔවුන් සමස්ත ප්‍රජාව තුළ වෙනස් කොට නොසලකා කටයුතු කිරීම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම හා චර්යා ප්‍රවර්ධනය සහ සමික්ෂණ, පර්යේෂණ හා ප්‍රතිපත්ති සම්පාදන යන ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කරමින් පිළියෙළ කරනු ලැබ ඇති ආබාධ සහිත පුද්ගලයින් හා වැඩිහිටි ප්‍රජාව සවිබල ගැන්වීම පිළිබඳ විශේෂ වැඩසටහන ජනාධිපති කාර්යාලය මඟින් අනෙකුත් සියලු පාර්ශ්වයන්ගේ සහාය හා සම්බන්ධීකරණය සහිතව එකාබද්ධ ප්‍රවේශයකින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.