• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රාමීය ප්‍රජාව සඳහා පානීය ජල සම්පාදන යෝජනා ක්‍රම වැඩිදියුණු කිරීම සඳහා වූ ව්‍යාපෘතියේ උපදේශක කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- නැගී එන කලාපයන්හි ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය (RIDEP) උතුර, නැ‍ඟෙනහිර, උතුරු මැද හා ඌව පළාත්වල සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වෙයි. ඒ යටතේ ග්‍රාමීය මාර්ග, මධ්‍යම හා කුඩා පරිමාණ වාරි මාර්ග සහ පානීය ජල පහසුකම් ලබා දීම වැනි මූලික පහසුකම් වැඩිදියුණු කිරීම හරහා ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ ජීවනෝපාය සංවර්ධනය කිරීමට අපේක්ෂිතය. එමෙන්ම මෙමඟින් ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීම, ප්‍රාදේශීය සංවර්ධන අසමතුලිතතා අවම කිරීම සහ ජනතාවගේ දුගී බව තුරන් කිරීම සඳහා දායක වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද අපේක්ෂා කරනු ලැබේ. මෙම ව්‍යාපෘතියේ දෙවන සංරචකය වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ග්‍රාමීය ප්‍රජාව සඳහා පානීය ජල සම්පාදන යෝජනා ක්‍රම වැඩිදියුණු කිරීම සඳහා වන ව්‍යාපෘතියේ උපදේශක සේවාව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත සීවෝටර් කන්සල්ටන්ට්ස් පුද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.