• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යෝජිත යකා බැඳි ඇළ අමුණ සංවර්ධනය
- මාකඳුර, කන්දෙපොළ, කොස්වත්ත සහ යක්දෙස්සාව ප්‍රදේශවල ගොවීන්ට වාරි ජල පහසුකම් සැපයීම සඳහා භාවිතා කරන ලද පැරණි යකා බැඳි අමුණ අත්හැර දමා ඇති බැවින් එම ප්‍රදේශවල ගොවීන් යල හා මහ කන්න දෙකෙහිදීම විශාල ජල හිඟයකට මුහුණ දෙයි. එම උග්‍ර ජල හිඟයට පිළියමක් ලෙස නව ස්ථානයක අමුණ ඉදි කරමින් මහ ඔයේ ජලය රත්මල්ඔය ද්‍රෝණියට හැරවීම සඳහා නව යකා බැඳි ඇළ අමුණ සංවර්ධන යෝජනා ක්‍රමය සැලසුම් කර තිබේ. එමඟින් මහ‍ා ඔය හරහා මීටර 76.8ක් දිග අමුණක් ඉදි කිරීම, ප්‍රධාන ඇළ හරහා පිවිසුම් නිර්මිතයක් (Intake Structure) ඉදි කිරීම, කිලෝ මීටර 14.8ක් දිග අන්තර් ද්‍රෝණි ඇළක් ඉදි කිරීම, ශාඛා හා බෙදුම් ඇළ මාර්ග ඉදි කිරීම, වගා බිම් ප්‍රදේශය පුරා පවතින නිර්මිත වැඩිදියුණු කිරීම, කන්දෙපොළ ආරු හරහා අනුක්කම්පිටියේ ගබඩා වැව ඉදි කිරීම හා යෝජිත හැරවුම් අමුණෙහි ඉහළ මට්ටම් ගංවතුර ආරක්ෂණ බැම්ම ඉදි කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ශක්‍යතා හා පාරිසරික අධ්‍යයනයන් සිදු කිරීම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.