• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා‍ව සහ ඉන්දියාව අතර ද්වීපාර්ශ්වික සමාජ ආරක්ෂණ ගිවිසුම් අත්සන් කිරීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීම
- මෙරට පවතින කම්කරු නීතිය අනුව මෙරට රැකියාවේ නියුතු විදේශීය සේවකයින් 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත මඟින් ආවරණය වන අතර, එම සේවකයින් මෙරට තුළ ඔවුන්ගේ සේවා නියුක්තිය අවසන් කර සිය රටට යාමේදී ඔවුන් විසින් එම කාලය සඳහා සේවක අර්ථසාධක අරමුදලට ගෙවන ලද සම්පූර්ණ දායක මුදල හා ඊට අදාළ පොලී මුදලද ආපසු ලබාගැනීමට හිමිකම් ලබයි. එසේ වුවත් ඉන්දියාවේ පවතින නීතිය අනුව, එරට සේවය කරන ශ්‍රී ලාංකික සේවකයෙකු එරට සමාජ ආරක්ෂණ ක්‍රමවේදයට දායක විය යුතු අතර, එම සේවකයාගේ දායක මුදල් වයස අවුරුදු 58 වන තුරු ආපසු ලබාගැනීමට හැකියාවක් නොමැත. මෙම ගැටලුව විසඳීම සඳහා ඉන්දියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමාජ ආරක්ෂණ ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. එමඟින් ශ්‍රී ලංකාවේ සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල් ගෙවන ශ්‍රී ලාංකික සේවකයින් තවදුරටත් ඉන්දියාවේ සමාජ ආරක්ෂණ අරමුදලට දායක මුදල් ගෙවීමට අවශ්‍ය නොවේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ අර්ථ සාධක අරමුදල සඳහා දායක නොවී ඉන්දියාවේ සමාජ ආරක්ෂණ අරමුදලට දායක වන ඉන්දියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් හට ඔවුන්ගේ දායක මුදල් ඉන්දියාවේ සේවය අවසන් කරන අවස්ථාවේදී නැවත ලබාගැනීමට අයදුම් කිරීමටද හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමාජ ආරක්ෂණ ගිවිසුමකට එළඹීමට හැකිවන පරිදි 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ නොවන කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමතිතුමාගේ ඉල්ලීම අනුව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.