• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයෙහි දෙවන ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2018-2020)
- විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය යනු විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම, පුරවැසියන් බලගැන්වීම, දූෂණයට එරෙහිව සටන් කිරීම සහ රාජ්‍ය පාලනය කාර්යක්ෂම කිරීමට නව තාක්ෂණයන් උපයෝගි කරගැනීම යනාදි ප්‍රතිපත්තීන් සඳහා රාජ්‍යයන්ගේ දැඩි කැපවීම සහතික කිරීම අරමුණු කරගත් බහුපාර්ශ්වීය මූලාරම්භයකි. විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය යටතේ සියලුම සහභාගීත්ව රටවල් විසින් ස්වේච්ඡාවෙන් සකස් කරන ලද බැඳීම් ඇතුළත් දෑ අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්මක් සකස් කිරීම අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකා රජයේ පළමුවන දෑ අවුරුදු විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ජාතික ක්‍රියාකාරි සැලැස්ම (2016 - 2018) ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට‍ පෙර අනුමැතිය ලබා දෙන ලදී.

ශ්‍රී ලංකා රජයේ දෙවන විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ජාතික ක්‍රියාකාරි සැලැස්ම, ආබාධිත ප්‍රජාවගේ අයිතීන් වඩාත් සුරක්ෂිත කිරීම, වත්කම් ප්‍රකාශන තුළින් වගවීම ප්‍රවර්ධනය කිරීම සහ ආපදා කළමනාකරණය සඳහා වැඩිදියුණු කළ සේවාවන් සලසා දීම යනාදී පුළුල් පරාසයක් තුළ විහිදෙන පරිවර්තනීය බැඳීම් 14ක් සහ ඉලක්ක 61කින් සමන්විත වන පරිදි සකස් කර තිබේ. මෙම දෙවන ජාතික ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාත්මක කිරීම තුළින් රාජ්‍ය යාන්ත්‍රණය තුළ පුරවැසි සහභාගිත්වය සහ විනිවිදභාවය වර්ධනය කිරීමද එමඟින් ශ්‍රී ලංකාවේ පුරවැසියන් වෙත රජයේ වගවීම වැඩිවනු ඇතැයිද අපේක්ෂා කරනු ලැබේ. ඒ අනුව මෙම දෙවන ජාතික ක්‍රියාකාරි සැලැස්ම (2018 - 2020) අදාළ රාජ්‍ය ආයතනවල සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කිරීමට සහ ඒ පිළිබඳ අධීක්ෂණය හා මඟපෙන්වීම සඳහා අන්තර් අමාත්‍ය මෙහෙයුම් කමිටුවක් පත් කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.