• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අම්බලන්ගොඩ, පොල්වත්ත ආයුර්වේද රෝහල සංවර්ධනය කිරීම
- අම්බලන්ගොඩ, පොල්වත්ත ප්‍රදේශයේ පිහිටි ආයුර්වේද රෝහල මඟින් ඇඳන් 18ක් හා වාට්ටු 02ක් සහිතව නේවාසික රෝගී ප්‍රතිකාර සේවාව පවත්වාගෙන යනු ලබයි. මාසිකව රෝගීන් 3,000ක් පමණ ප්‍රතිකාර ගැනීම පිණිස මෙම රෝහල වෙත පැමිණියද ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම හේතුවෙන් එම රෝගීන්ට අවශ්‍ය නේවාසික ප්‍රතිකාර ලබා දීම දුෂ්කර වී තිබේ.

පිළිකා, හදවත් රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය යනාදී රෝග නිවාරණයට හා පාලනයට මෙන්ම යෝජිත යෝග ප්‍රතිකාර ඒකකය මඟින්ද ලබාදිය හැකි දායකත්වය සලකා, මෙම රෝහල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් අදියර 04ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එහි පළමු අදියරේ සංවර්ධන කටයුතු නිමවෙමින් පවතින අතර දෙවන හා තෙවන අදියර ලෙස පළමු හා දෙවන මහළේ කටයුතු ද සිව්වන අදියර යටතේ තෙවන මහළේ කටයුතු ද සිදු කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.