• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර අවබෝධතා ගිවිසුම් 06කට එළඹීම
- අතිගරු ජනාධිපතිතුමාගේ පිලිපීන සංචාරයේදී ද්විපාර්ශ්වීය මිත්‍රත්වය, සහයෝගය සහ සංවර්ධනය අරමුණු කර ගෙන පහත සඳහන් ලෙස ගිවිසුම් 06කට එළඹීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාවය සඳහා වන අවබෝධතා ගිවිසුම
සංචාරක ක්ෂේත්‍රයේ පර්යේෂණ හා සංවර්ධන, අධ්‍යාපන හා පුහුණු, සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්, ආයෝජනයන් සහ දෙපාර්ශ්වය විසින් තීරණය කරනු ලබන අනෙකුත් අංශවල සහයෝගිතාව වර්ධනය කිරීම පිණිස ශ්‍රී ලංකාව හා පිලිපීනය අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව.

විදේශ රැකියා ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කිරීම
දෙරට අතර සේවක සුබසාධනය හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ඵලදායිතාව, සේවා තත්ත්ව, වෘත්තීයමය සෞඛ්‍ය හා සුරක්ෂිතතාව ඉහළ නැංවීම, විගමණික සේවකයන් පුහුණු කිරීම හා සහතික කරණය සහ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නීති ආධාර සැපයීම වැනි ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව වර්ධනය කරගැනීම සඳහා පිලිපීනය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
දෙරට අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණින් පිලිපීන ජනරජයේ උසස් අධ්‍යාපන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකාවේ නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව.

කෘෂිකර්මය හා ඒ ආශ්‍රිත ක්ෂේත්‍ර ආවරණය වන අවබෝධතා ගිවිසුමකට එළඹීම
දෙරට අතර බෝග වගාව, ධීවර කර්මාන්තය, සත්ත්ව පාලනය හා කුකුල් පාලනය, කෘෂි සැකසුම් හා අගය වැඩි කිරීම, නිෂ්පාදන බෙදා හැරීම හා අලෙවිය යන ක්ෂේත්‍රවල සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණින් පිලිපීනය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව.

ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පද්ධතියේ පර්යේෂකයන් සඳහා විදේශීය පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට පහසුකම් සැලසීම
ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පද්ධතියේ පර්යේෂකයන් විදේශීය පශ්චාත් උපාධි හැදෑරීම සඳහා යොමු කරවීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස පිලිපීනයේ ලොස් ‍බානෝස් විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව.

දෙරට අතර ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කිරීම
දෙපාර්ශ්වය අතර ආරක්ෂාව, සංග්‍රාමික අධ්‍යාපනය, පුහුණුව, ආරක්ෂක දූත පිරිස් හුවමාරුව, ඒකාබද්ධ අභ්‍යාස, මිත්‍ර සංචාරයන් සහ සම්මන්ත්‍රණ යන ක්ෂේත්‍රවල සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව හා පිලිපීනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව.