• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල කඩිනම් ආර්ථික හා සමාජ සවිබල ගැන්වීම් හා යටිතල පහසුකම් ව්‍යාපෘති
- දශක තුනකට අධික කාලයක් සංවර්ධනය මඟ හැරී තිබීම හේතුවෙන් උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල ආර්ථික යටිතල පහසුකම් සහ සමාජ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම හා ජීවනෝපාය සහායන් සැලසීම මඟින් එම ප්‍රදේශවල සංවර්ධනය කඩිනම් කිරීම පිණිස විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව කෘෂිකාර්මික, කාර්මික, ධීවර හා සේවා අංශ කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් මේ යටතේ වන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනු ඇත. ග්‍රාමීය පාරවල්, දූපත් හි යාත්‍රා නැංගුරම්ලන ස්ථාන හා ගොඩබෑමේ ස්ථාන, ජැටි, දූපත් හා ප්‍රධාන ගොඩබිම් අතර ප්‍රවේශයන් සැපයීම, කෘෂි උපකරණ, කෘෂි ළිං, ධීවර බෝට්ටු හා එන්ජින්, ස්වයං රැකියා ආශ්‍රිත උපකරණ හා තාක්ෂණය, වෙළඳපොළ පහසුකම්, ගබඩා සහ ආශ්‍රිත යටිතල පහසුකම් වැනි ජීවනෝපාය හා සම්බන්ධ පහසුකම්ද මෙම ව්‍යාපෘතිය මඟින් සලසා දීමට නියමිතය.

ඒ අනුව ආර්ථික යටිතල පහසුකම්, සමාජ යටිතල පහසුකම්, ජීවනෝපාය හා ස්වයං රැකියා සහ කුඩා කර්මාන්ත හා ව්‍යවසායන් යන ක්ෂේත්‍ර 04 ඔස්සේ මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 2,000ක මුදලක් වෙන් කරවා ගැනීම පිණිස ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.