• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු පළාත වෙත බලපෑ ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම
පසුගිය දින වල ඊසාන දිග මෝසම සක්‍රීය වීමෙන් දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කිලිනොච්චි, මුලතිව්, යාපනය ඇතුළු උතුරු පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක පවුල් 39,895ක පුද්ගලයින් 123,862ක් පීඩාවට පත් වී ඇති අතර, කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල නිවාස 474ක් සම්පූර්ණයෙන්ම සහ නිවාස 4,522ක් අර්ධ වශයෙන් හානියට පත් වී තිබේ. එම හානි සඳහා නියමිත තක්සේරු සිදු කර සම්පූර්ණ වන්දි මුදල් ලබා දෙන තෙක් කඩිනමින් සිදු කර ගත යුතු ප්‍රතිසංස්කරණ සහ පිරිසිදු කිරීම් කරගැනීම වෙනුවෙන් නිවෙස් හිමියන් වෙත රුපියල් 10,000/-ක අත්තිකාරම් මුදලක් ලබා දීම පිණිස අවශ්‍ය අරමුදල් සහ ද්‍රව්‍ය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කර තිබේ. එසේම පීඩාවට පත් වූ පුද්ගලයින්ගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරන තුරු එම පවුල් සඳහා සති දෙකක කාලයකට වියළි සලාකයක් ලබා දීමටද කටයුතු සිදු කරමින් පවතී. ඒ අනුව මෙම ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූවන්ට තවදුරටත් අවශ්‍ය සහන සැලසීම, හානියට පත් වී ඇති යටිතල පහසුකම් හා පොදු ගොඩනැඟිලිවලට සිදු වූ හානි ප්‍රතිසංස්කරණය සිදු කිරීම සහ හානියට පත් වූ කෘෂිකාර්මික බෝග වගාවන්ට හා පශු සම්පත්වලට සිදු වූ හානි වෙනුවෙන්ද සහන සැලසීමට අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.