• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2019 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- 2019 වර්ෂය සඳහා වන ජාතික අයවැය, දැනට සිදු කෙරෙමින් පවතින රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන ශක්තිමත් කිරීමේ අරමුණින් සහ 2021 වර්ෂය වන විට අත්පත් කරගැනීමට සැලසුම් කර ඇති මධ්‍යකාලීන රාජ්‍ය මූල්‍ය ඉලක්ක සාක්ෂාත් කරගත හැකි වන පරිදි පිළියෙළ කිරීම පිණිස පසුගිය සතියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, 2019 මුදල් වර්ෂයේ මුල් මාස 04 තුළ අතුරු සම්මත ගිණුම යටතේ දැරීමට නියමිත රාජ්‍ය වියදමද ඇතුළත් කරමින් නව විසර්ජන පනත් කෙටුම්පතක් යළිත් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
එසේ කෙටුම්පත් කර ඇති විසර්ජන පනත මඟින් රජයේ පොදු සේවාවන් සඳහා ගෙවිය යුතු වියදම රුපියල් බිලියන 2,312ක් වන අතර, එය රුපියල් බිලියන 1,436ක පුනරාවර්තන වියදමකින් සහ රුපියල් බිලියන 876ක මූලධන වියදමකින්ද සමන්විත වේ. මෙයට අමතරව රාජ්‍ය ණය සේවාකරණය, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම් වැනි දැනටමත් ඒකාබද්ධ අරමුදලෙන් ගෙවීමට බලය ලැබී ඇති වියදම් දැරීම සඳහා රුපියල් බිලියන 2,232ක් ද වෙන් කර තිබේ. එසේම රජයේ අත්තිකාරම් ගිණුම් කටයුතු සඳහා රුපියල් බිලියන 06ක් ද ඇතුළත්ව 2019 වර්ෂය සඳහා දැරීමට අපේක්ෂිත සමස්ත වියදම රුපියල් බිලියන 4,550කි. දැනට පවතින බදු අනුපාත ව්‍යූහය අනුව 2019 වර්ෂය තුළදී රාජ්‍ය ආදායම හා විදේශ ප්‍රදානවල වටිනාකම රුපියල් බිලියන 2,390ක් පමණ වේ. එමෙන්ම දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් ලබාගැනීමට අවශ්‍ය මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,160කි. ඒ අනුව 2019 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.