• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දෙණියාය සිට රක්වාන දක්වා A017 මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
- ගාල්ල-දෙණියාය- මාදම්පේ මාර්ගය මොරවක, දෙණියාය, සූරියකන්ද හා රක්වාන යන ප්‍රධාන නගර සම්බන්ධ කරමින් විහිදී ඇති අතර, මෙම මාර්ගය A පන්තියේ ප්‍රධාන මාර්ග 03ක් හා B පන්තියේ මාර්ග 10ක් සමඟ ජාල ගත වී තිබේ. මෙයින් දෙණියාය සිට රක්වාන දක්වා කිලෝමීටර 53ක මාර්ගය සංවර්ධනය කිරීමට යෝජනා කර තිබේ. එම ව්‍යාපෘතිය අදියර 02ක් යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 51.75ක ආයෝජනයක් සහිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එහි පළමු අදියර ලෙස සූරියකන්ද සිට රක්වාන දක්වා වන කිලෝමීටර 18ක කොටසක් සහ දෙවන අදියර ලෙස දෙණියාය සිට සූරියකන්ද දක්වා කිලෝමීටර 35ක කොටසක්ද සංවර්ධනය කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 40ක අරමුදල් ලබා දීමට අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල එකඟතාව පළ කරනු ලැබ තිබේ. ඒ සඳහා අවශ්‍ය ණය සම්මුති සාකච්ඡා පැවැත්වීම හා ණය ගිවිසුමකට එළඹීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.