• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ නගරයේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- කොළඹ නගරය පිරිසිදු හා ප්‍රසන්න පරිසරයකින් යුත් නගරයක් බවට පරිවර්තනය කිරීම සඳහා වර්තමානයේ පැල්පත්වල වාසය කරන ජනතාව නව නිවාස සංකීර්ණයන්හි නැවත පදිංචි කිරීම සහ නාගරික ඉඩම් වඩාත් ප්‍රශස්ථ අන්දමින් උපයෝජනය කිරීමේ අරමුණින් කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 287ක ආයෝජනයක් සහිතව සිදු කිරීමට සැලසුම් කර තිබේ. එමඟින් දැනට අඩු පහසුකම් සහිත ජනාවාසයන්හි වෙසෙන 50,000ක පමණ වන අඩු ආදායම්ලාභී සහ පහළ මධ්‍යම ආදායම්ලාභීන් පිරිසකට නිසි ප්‍රමිතියෙන් යුත් නිවාස ප්‍රතිලාභ සැලසෙනු ඇත.

ඒ අනුව, මෙම ව්‍යාපෘතිය නිවාස ඉදිකිරීම්, ඉඩම් නැවත සංවර්ධනය කිරීම සහ තාක්ෂණික සහාය හා ව්‍යාපෘති කළමනාකරණය යන ප්‍රධාන සංරචකයක් 03 යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ සඳහා ආසියානු යටිතල පහසුකම් අයෝජන බැංකුව , ශ්‍රී ලංකා රජය සහ පෞද්ගලික අංශය මඟින් අරමුදල් ලබා ගැනීමට සැලසුම් කර තිබේ. එයින් ආසියානු යටිතල පහසුකම් අයෝජන බැංකුව විසින් ලබා දීමට එකඟ වී ඇති අරමුදල් ලබාගැනීම පිණිස අවශ්‍ය ණය සම්මුති සාකච්ඡා පැවැත්වීමට සහ ණය ගිවිසුමකට එළඹීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.