• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතියක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය
- කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි පවතින දැඩි රථ වාහන තදබදය අවම කිරීම සඳහා කොළඹ නගරය තුළ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතියක් ස්ථාපනය කිරීම පිණිස ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය විසින් මූල්‍යමය හා තාක්ෂණික ආධාර සැපයීමට එකඟතාව පළ කරනු ලැබ ඇත. මෙම සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය මඟින් ප්‍රධාන පරිපාලන කේන්ද්‍රස්ථාන, වාණිජ මධ්‍යස්ථාන සහ කොළඹට තදාසන්නව පිහිටා ඇති අධික ජනගහනයක් සහිත නේවාසික ප්‍රදේශ එකිනෙක සම්බන්ධ වන පරිදි ඉදි කිරීමට සැලසුම් කර තිබේ. එමෙන්ම මෙම සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය අධිවේගී මාර්ග ජාලයට හා බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථාන වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට හැකි වන පරිදි සංවර්ධනය කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ කොටුව බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට මාලඹේ ඩිපෝව දක්වා දුම්රිය ස්ථාන 16කින් සහ කිලෝමීටර 17ක දිගින් යුත් සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් ජපන් යෙන් මිලියන 246,641ක ආයෝජනයක් සහිතව ඉදි කිරීමට සැලසුම් කර තිබේ. එසේ වැය කිරීමට අපේක්ෂිත මුදලින් ජපන් යෙන් මිලියන 200,415ක මුදලක් ලබා දීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය එකඟ වී ඇති අතර, ඒ සඳහා වන ණය සම්මුති සාකච්ඡා පැවැත්වීමට සහ ණය ගිවිසුමකට එළඹීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.