• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආහාර ආරක්ෂණය ඉහළ නැංවීම
- මාකදුර පිහිටුවා ඇති කාබනික කෘෂිකර්මාන්තය සඳහා වන විශිෂ්ඨතා කේන්ද්‍රය මඟින් කාබනික කර්මාන්තය සහ කාබනික පොහොර පිළිබඳ පර්යේෂණ හා තාක්ෂණික හුවමාරුව සිදු කරනු ලබන අතර මාකදුර කලාපීය කෘෂිකර්ම පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය මඟින් බෝග ප්‍රවර්ධනය, පාංශු සහ ශාක පෝෂණය යනාදි විවිධ අංශවලට අදාළ පර්යේෂණ සිදු කරනු ලබයි. මෙම ආයතන දෙක ඒකාබද්ධ කිරීම මඟින් තිරසර කෘෂිකර්ම සංවර්ධනය සඳහා නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට හැකියාව ඇති බව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව පරිසර හිතකාමී කෘෂිකර්මය පිළිබඳ පුහුණු හා ව්‍යාපෘති ක්‍රියාකාරකම්, රටපුරා නිෂ්පාදන දිරිගැන්වීම් හා මෙහෙයවීම, කාබනික කෘෂිකර්මය හා කාබනික පොහොර පිළිබඳ පර්යේෂණ පැවැත්වීම මෙන්ම දේශීය කාබනික සහතිකකරණයේ ප්‍රමුඛ ආයතනය වශයෙන් හා පාංශු ක්ෂුද්‍ර ජීව විද්‍යාව සඳහා ජාතික විමර්ශන ඒකකය ලෙසද එසේ ඒකාබද්ධ කරනු ලබන නව ආයතනයට වගකීම් දැරිය හැකි වනු ඇත. ඒ අනුව මෙම ආයතන දෙක ඒකාබද්ධ කර තිරසර කෘෂිකර්ම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම සඳහාත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.