• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් නිදහස් කරගැනීම
- උතුරු හා නැ‍ඟෙනහිර ප්‍රදේශයන්හි ගැටුම් පැවති අවධියේ ත්‍රිවිධ හමුදාව විසින් සිය භාරයට ගත් පෞද්ගලික ඉඩම්, එම ඉඩම්වල අයිතිකරුවන් වෙත නිදහස් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතියි. ඒ යටතේ ශ්‍රී ලංකා නාවික හමුදා භාරයේ පැවති මන්නාරම මුල්ලිකුලම් හි පිහිටි අක්කර 23ක හා මුලතිව් මුල්ලිවයික්කාල් හි පිහිටි අක්කර 53ක භූමි ප්‍රමාණයක් සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ 224 සේනාංකය ස්ථාපිත කර ඇති ත්‍රිකුණාමලය තොප්පූර් හි අක්කර 03ක භූමි ප්‍රමාණයක් එහි මුල් අයිතිකරුවන් වෙත නිදහස් කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. එසේම එම ප්‍රදේශවල පදිංචි කිරීමට නියමිත ජනතාවට සිය ජීවනෝපාය කටයුතු තිරසර අන්දමින් පවත්වාගෙන යාමට හැකිවන පරිදි හඳුනාගත් කුඩා වැව් 03ක් පිළිසකර කර එම ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කර ඒවා මුල් අයිතිකරුවන් වෙත භාර දීම සිදු කළ යුතු වේ. ඒ අනුව දැනට ත්‍රිවිධ හමුදාව භාවිත කරන ඉඩම් නිදහස් කිරීමට හැකි වන පරිදි එම පහසුකම් ප්‍රතිස්ථාපනය කිරීමට සහ එම ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.