• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ වැඩිහිටි සත්කාරක සේවා පහසුකම් ශක්තිමත් කිරීම
- වසර 2041 වන විට ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය දැනට පවතින ප්‍රමාණය මෙන් දෙගුණයක් එනම් මුළු ජනගහනයෙන් 24.8%ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. එසේ වුවද, වැඩිහිටියන්ගේ සමාජ සුරක්ෂිතතාවය වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයක් සඳහා පවතින ප්‍රවේශය ඉතාමත් සීමිත බව නිරීක්ෂණය කර තිබේ. මේ සඳහා පිළියමක් ලෙස පවුල සමඟ සිටින වැඩිහිටියන් සඳහා දිවා සුරැකුම් නිවාස, පවුලේ සාමාජිකයින් රහිත වැඩිහිටියන් සඳහා ස්ථිර නවාතැන් නිවාස සහ දැඩිව ආබාධිත හෝ එක්තැන් වූ වැඩිහිටියන් සඳහා රජයේ රෝහල් තුළ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සුපරීක්ෂණය යටතේ වාට්ටු ස්ථාපිත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමටත්, වැඩිහිටි සත්කාරක සේවා සඳහා වැඩිවෙමින් පවතින ඉල්ලුමට සරිලන පරිදි වැඩිහිටි සත්කාරක සේවා සපයන්නන් 10,000ක් පමණ පුහුණු කිරීමටත් අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය‍ දයා ගමගේ මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.