• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දැහැමි සමාජයක් උදෙසා තිරසර පුණ්‍යග්‍රාම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීම
- ගමයි, පන්සලයි යන සංකල්පය වඩාත් ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඇතිව සාරධර්ම සුරකින ආර්ථික වශයෙන් ශක්තිමත් ප්‍රජාවක් සහිත ග්‍රාමයක් නිර්මාණය කිරීමේ අරමුණින්, විහාරස්ථාන කේන්ද්‍ර කරගත් තිරසර පුණ්‍යග්‍රාම වැඩසටහන බුද්ධශාසන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙමඟින් වත්මන් සමාජය තුළ පිරිහීමට ලක් වෙමින් පවතින අතීතයේ සිට පැවතෙන බෞද්ධ සාරධර්ම, සිරිත්විරිත්, සංස්කෘතික සංකල්පයන් අනුව ගමේ පිහිටි විහාරස්ථානය මුල් කරගනිමින් ජන ජීවිතය හැඩගැස්වීම සිදු කරනු ලැබේ. පසුගිය වර්ෂයේදී ගම්මාන 50ක ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනේ සාර්ථකත්වය සලකා, ඉදිරි වර්ෂ තුළ දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ගම්මාන 250ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම සහ අනෙකුත් ආගමික සිද්ධස්ථානද කේන්ද්‍ර කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ දැනුවත් කිරීම පිණිස බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.