• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපනයන නිෂ්පාදන ගම්මාන 5000ක් පිහිටුවීම
- ගොවීන් විසින් නිපදවනු ලබන ප්‍රාථමික නිෂ්පාදන අපනයන වෙළඳ පොළට ගැළපෙන පරිදි, අගය එකතු කිරීම ඒකාබද්ධ ක්‍රියාවලියක් තුළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අදියර 2ක් යටතේ රට තුළ අපනයන නිෂ්පාදන ගම්මාන 5,000ක් පිහිටුවීම සඳහා සැලසුම් සකස් කරනු ලැබ ඇත. මේ යටතේ ගම්වල පවතින සම්පත්වල බහුලතාව අනුව ගමකට අවශ්‍ය නිෂ්පාදන තෝරාගනු ලබන අතර, ඒ අනුව ගොවීන්ට අවශ්‍ය අරමුදල් පහසුකම්, තාක්ෂණය, කාර්යක්ෂම සම්පත් භාවිතය, ගොවිපොළ කළමනාකරණය, අස්වනු නෙළීම, ඇසිරීම හා ප්‍රවාහනය වැනි අංශවල පුහුණුවක් ලබා දීමටත්, ඔවුන්ට අවශ්‍ය දේශීය හා ජාත්‍යන්තර වෙළඳ පොළ අවස්ථා සඳහා ප්‍රවේශය ලබා දීමටත් සැලසුම් කර තිබේ.

ඒ අනුව, මෙම ව්‍යාපෘතිය සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන අපනයන කර්මාන්ත සඳහා පර්යේෂණ, සංවර්ධන සහ ප්‍රවර්ධන වැඩසටහන් ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක කිරීමටත්, එහි පළමු අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 300ක අපනයන නිෂ්පාදන ගම්මාන 1,000ක් පිහිටුවීමටත්, 2018-2020 කාලසීමාව තුළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හා මුළු ගම්මාන සංඛ්‍යාව 5,000 දක්වා අදියරගතව වර්ධනය කිරීමටත් සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය‍ දයා ගමගේ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.