• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩා තේ වතුවල ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා සහන සැලසීම
- කුඩා තේ වතුවල ඵලදායීතාවය ඉහළ නැංවීම පිණිස කුඩා තේ වතු හිමියන් වෙත උපකරණ බෙදා දීම සහ ඒ හා බැඳුනු ග්‍රාමීය යටිතල පහසුකම් වැඩිදියුණු කර දීම පිණිස සහන සැලසීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එසේ වුවද, නිසි ලෙස බිම් සැකසීම, ගස් කප්පාදුව, වල් නෙළීම, තේ පඳුරු නඩත්තුව, නිසි ලෙස පොහොර යෙදීම, පස සෝදා යාම වැළැක්වීම, වියළි කාලයන්හිදී තේ වගාවට ප්‍රමාණවත් ජල පහසුකම් සැලසීම වැනි ක්‍රමෝපායන් තුළින් කුඩා තේ වතු හිමියන්ගේ අඛණ්ඩ තේ නිෂ්පාදනය තහවුරු කර ඵලදායීතාවය ඉහළ නැංවීම වඩාත් යෝග්‍ය බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, තේ වගාවට අදාළ නිවැරදි කෘෂිකාර්මික පිළිවෙත් දිරිගැන්වීමට අවශ්‍ය උපකරණ කුඩා තේ වතු හිමියන් වෙත බෙදාහැරීමේ වැඩසටහනක් රුපියල් මිලියන 250ක ආයෝජනයක් සහිතව ක්‍රියාත්මක කිරීමටත්, ඒ යටතේ ජල ටැංකි 10,000ක්, වතුර පොම්ප 3,500ක් සහ ස්ප්‍රේ යන්ත්‍ර 4,500ක් කුඩා තේ වතු හිමියන් අතර බෙදා හැරීමටත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.