• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෘෂි නිෂ්පාදන ගබඩා කිරීම සඳහා උෂ්ණත්වය පාලනය කළහැකි ගබඩාවක් දඹුල්ලේ ස්ථාපනය කිරීම
- එළවළු හා පලතුරු වගා කිරීමේ යෙදී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන්ට ඔවුන්ගේ නිෂ්පාදන දිගුකාලයක් නැවුම් තත්ත්වයෙන්ම ගබඩා කර තබා ගත හැකි වන පරිදි, ඒ සඳහා උෂ්ණත්වය පාලනය කළහැකි ගබඩා පහසුකමක් රුපියල් මිලියන 475ක ආයෝජනයක් සහිතව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ආසන්නව ස්ථාපනය කිරීම සඳහා යෝජනා වී තිබේ. එමඟින් ඍතුමය වශයෙන් ඵලදාව ලැබෙන භෝග සඳහා අඛණ්ඩ වෙළඳ පොළ සැපයුමක් සහතික කළ හැකි බැවින්, එවැනි භෝගවල ඇති වන මිල උච්චාවචනයන් අවම කරගැනීම තුළින් එම භෝග සඳහා ස්ථාවර මිලක් පවත්වා ගත හැකි වනු ඇත. යෝජිත ආයෝජනයෙන් රුපියල් මිලියන 300ක්, ප්‍රදානයක් වශයෙන් ලබා දීමට ඉන්දීය රජය විසින් එකඟත්වය පළ කරනු ලැබ තිබේ. ඒ අනුව, උෂ්ණත්වය පාලනය කළ හැකි ගබඩාවක් දඹුල්ලේ ස්ථාපනය කිරීමට අවශ්‍ය අරමුදල් වෙන් කරගැනීම සහ එය කළමනාකරණය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.